ශීෂෙල්ස් ගුවන් සමාගමට ශ්රී ලංකාවට ගුවන් ගමන් ක්රියාත්මක කිරීමේ අනුමැතිය
ශීෂෙල්ස් හි ජාතික ගුවන් සමාගම වන එයාර් ශීෂෙල්ස් වෙත එරට සිට ශ්‍රී ලංකාවට නිශ්චිත ගුවන් ගමන් (Schedule Flights) ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Air Operator Certificate – FAOC ) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර තිබෙනවා.
මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගීන්ට ගුවන් සුරක්ෂිතතාවට හා ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් එම සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය හා වැඩපිළිවෙල පිළිබඳව ද ඉහළ අවදානයක් යොමුකර ඇත.
එමෙන්ම එහි දී ශීෂෙල්ස් ගුවන් සමාගම සතු භෞතික සම්පත්, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව වැනි කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්යනා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
කොවිඩ් තත්වය හමුවේ යම් පසුබෑමකට ලක්වූ ගුවන් ප්‍රවාහන කර්මාන්තය, යළි සක්‍රීය කිරීම වෙනුවෙන් විදේශීය ගුවන් සමාගම් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ, වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වැඩපිළිවලෙහි එක් අදියරක් ලෙස ශීෂෙල්ස් ගුවන් සමාගම කොළඹට ගුවන් ගමන් යළි ඇරඹීම දැක්විය හැකිය.
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතාගේ උපදේශකත්වය සහ මගපෙන්වීම මත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ, ගුවන් මෙහෙයුම් අංශයේ මූලිකත්වය තුලින් මෙම සහතික කිරීමේ කටයුතු සිදු විය.
විදේශීය ගුවන් සමාගමකට ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කරනු ලබන සහතිකය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා විසින් ශීෂෙල්ස් ගුවන් සමාගමෙහි වානිජ අංශ ප්‍රධානී Nicole Mancienne, මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන, එයාර් පාර්ක් ආයතනයේ නියෝජ්‍ය සභාපති රොබට් ඩග්ලස් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
The post ශීෂෙල්ස් ගුවන් සමාගමට ශ්රී ලංකාවට ගුවන් ගමන් ක්රියාත්මක කිරීමේ අනුමැතිය appeared first on ITN News.