කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක්
එළඹෙන 2022/23 මහ කන්නයේ දී 30%ක් කාබනික පොහොර හා 70%ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.
මෙම සහනාධාරය සඳහා රජය විසින් වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 16,000කි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ සම්බන්ධව අදහස් පළ කළේ ඊයේ (15) එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද වැඩ සටහනකට සහභාගි වෙමිනි.
රසායනික පොහොර භාවීතා කරන වී ගොවීන්ට මෙම කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් අක්කරයක් සඳහා නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අනුමැතිය ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර කාබනික පොහොර සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා උසස් කාබනික පොහොර සඳහා පමණක් අලෙවි කිරීම සඳහා අවසර ලබා දෙන බව සඳහන් කළේය. පසුගිය කාලයේ කාබනික පොහොර අනුමැතියට ඉදිරිපත් කළ නියැදිවල තිබුනු ගුණාත්මකභාවය ගොවීන්ට ලබා දුන් කාබනික පොහොරවල නොතිබිනි.
එම නිසා ආහාර බෝග වගාව කඩා වැටිනි. එහෙත් මෙවර අනුමැතියට ඉදිරිපත් කරන නියැදි පමණක් නොව ගොවීන්ට සපයන කාබනික පොහොර සියල්ලම ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළ දී අහඹු ලෙස හෝ පරීක්ෂාවට ලක් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.
එම නිසා සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් පමණක් ගොවීන්ගේ වරණය මත තමන්ට අවශ්‍ය කාබනික පොහොර තෝරා ගත හැකිය.
තමන් නිෂ්පාදනය කරන කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම එම නිෂ්පාදන සමාගම් සතු කාර්යයකි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වීමක් නොකරන අතර පසුගිය කාලයේ මෙන් වැව්වලින් කපා ගන්නා ලද පස් හා විවිධ අපද්‍රව්‍ය සහිත ගුණාත්මක භාවයෙන් තොර කාබනික පොහොර සැපයීමට යම් ආයතනයක් කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඔවුන් අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
The post කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් appeared first on ITN News.