කළුතර දැරියගේ මරණයේ ප්රධාන සැකකරු අධිකරණයට
කළුතර දී අභිරහස් ලෙස පාසල් සිසුවියක ඝාතනය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක පසුගියදා කළුතර ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන මහල් ගොඩනැගිල්ලකින් පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඒ ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ සැගව සිටියදී. අනතුරුව ප්‍රධාන සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කළා.
එහිදී ඔහු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ මියගිය අවුරුදු 16 ක දැරිය තමන් හඳුනා ගත්තේ ඇගේ මිතුරියගේ පෙම්වතාගේ මාර්ගයෙන් බවයි.
මීට පෙර එම දැරිය හමු වී නැති අතර ඇය සමඟ කිසිඳු සබඳතාවක් පවත්වා නොමැති බවයි සැකකරු ප්‍රකාශ කර ඇත්තේ.
සිද්ධිය සිදු වූ දා පස්වරුවේ සිද්ධියෙන් මියගිය දැරිය ඇයගේ යෙහෙළිය සහ ඇගේ පෙම්වතාද කළුතර ප්‍රදේශයේ අදාළ හෝටලයට පැමිණ කාමර දෙකක් වෙන් කරවාගෙන එම සිව්දෙනාම මත්පැන් පානය කර තිබෙනවා.
අනතුරුව ප්‍රධාන සැකකරු එම දැරිය රැගෙන එක් කාමරයකට ගොස් ඇති අතර දැරියගේ යෙහෙළිය සහ ඇගේ පෙම්වතා අනෙක් කාමරයේ සිට තිබෙනවා.
අනතුරුව තමන් සහ දැරිය නිරුවත්ව සිටි බවත් එහෙත් ලිංගිකව එක් නොවූ බවත් ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කළා.
ඉන් විනාඩි කිහිපයකට පසුව දැරියගේ දුරකතනයට ඇමතුමක් ලැබුණු බවත් එම ඇමතුමට ඇය නොරිස්සුම්සහගතව පිළිතුරු ලබා දුන් බවත් සැකකරු ප්‍රකාශ කළා.
අනතුරුව අදාළ හෝටල් කාමරයේ ජනේලය අසල වූ පුටුවට නැග ඇය ජනේලයෙන් පිටතට පනින අයුරු දුටු බවයි ඔහු ප්‍රකාශ කළේ.
පසුව එම ස්ථානයෙන් ඔහු පළා යාමට කටයුතු කළ බවත් සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් මෙම තොරතුරු තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර පලාතොට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
ප්‍රධාන සැකකරු අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post කළුතර දැරියගේ මරණයේ ප්රධාන සැකකරු අධිකරණයට appeared first on ITN News.