2023 ජාතික සෞඛ්ය පර්යේෂණ සම්මන්ත්රණය සාර්ථකව නිමා වෙයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මගින් සංවිධානය කරන ලද ජාතික සෞඛ්ය පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 පසුගිය දෙදින (13-14) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී සාර්ථකව පැවැත්වුණා.
මෙහි සමාප්ත අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී වූ අතර මෙම ජාතික සම්මන්ත්‍රණය මෙවර පැවැත්වූයේ තෙවැනි වරටය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු පර්යේෂකයින්ගේ, පර්යේෂණ ඉදිරිපත් කිරීම හා ඒ පිළිබඳව සාකච්ජා කිරීමට අවශ්‍ය වේදිකාව සලසා දීම මෙන්ම පර්යේෂණ සඳහා සෞඛ්‍ය වෘත්තිකයින් නැඹුරු කිරීම හා දිරිමත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණයි.
දෙදින සම්මන්ත්‍රණයේ දී වාචිකව හා පෝස්ටර් පර්යේෂණ 245 ක් සාකච්ජාවට භාජනය කල අතර පර්යේෂණ 10 ක් හොඳම පර්යේෂණ ලෙස නිර්දේශ විය. ඒ අතුරින් පර්යේෂණ තුනක් හොඳම පර්යේෂණ ලෙස තෝරාගනු ලැබුවා.
එම සෞඛ්‍ය වෘත්තිකයින් හට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් මෙහිදී සහතික පත් ප්‍රධානය කරන ලද අතර තෝරාගනු ලැබූ හොඳම පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය සදහා යොදා ගැනීමට නියමිතයි.
මාතෘ හා ළමා සෞඛ්‍ය, බෝ නොවන රෝග, සෞඛ්‍ය පද්ධතිය, සෞඛ්‍ය හා මානව සම්පත්, ආහාර හා පෝෂණය, බෝ වන රෝග, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ශල්‍ය සත්කාර, ඩිජිටල් සෞඛ්‍ය, විකිරණවේදය, දන්ත සත්කාර යන මාතෘකාවන් යටතේ සහ තවත් විවිධ මාතෘකාවන් යටතේ මෙහිදී සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පර්යේෂණ දිරිපත් කෙරුණා.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ගමනේ මෙම සම්මන්ත්‍රණය විශාල ඉදිරි පියවරක් ලෙස හදුන්වා දිය හැකි බවත් මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් සංවර්ධිත රටක පවතින සෞඛ්‍ය සේවාව හා සමාන සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව බවය.
1948 නිදහසින් පසු නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය මෙරට තුළ ක්‍රියාත්මක වන බවත් එදා එකක්ව පැවති වෛද්‍ය විද්‍යාල ප්‍රමාණය අද වන විට 11 ක් දක්වා වර්ධනය වී තිබෙන බවද, 3000 ක් ව තිබුණු පාසල් සංඛ්‍යාව පාසල් 7000 දක්වා වර්ධනය වී තිබෙන බවද පෙන්වා දුන්නා.
පෙර දවස මෙරට ලියාපදිංචි වෛද්‍යවරුන් 701 ක් සහ හෙදියන් සුළු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාවේ නියැළුණු බවත් රෝහල් ඇදන් ධාරිතාවය 15,000 ක්ව පැවතිය බවද, වර්තමානය වන විට එම රෝහල් ඇදන් ධාරිතාවය 90,000 ඉක්මවන බවද වෛද්‍යවරුන් 22,000 කට අධික පිරිසක් හා 40,000 කට අධික හෙදියන් ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාවේ සේවය කර අතර සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන් වල 10000 කට අධික පිරිසක් ද සේවය කරන බව අවධාරණය කළා.
එමෙන්ම පසුගිය දෙවසර තුළ මෙරට සෞඛ්‍ය සේවාවේ යම් පසුබෑමකට ලක් වුවත් වර්මානය වන විට එය නැවතත් ශක්තිමත් සේවාවක් ලෙස පවත්නවා ගෙන යාමට කටයුතු කරන බවත් මෙහි දී තෝරා ගනු ලැබු හොදම පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි උන්නතිය සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් පැවසුවා.
ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, JICA, ඉන්දීය රජය, චීන රජය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර නියෝජිත ආයතන, මෙරට සෞඛ්‍ය සේවාව ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා සහය ලබාදෙන බවත් එහි අවසන් ප්‍රතිලාභය මෙරට ජනතාවට ලැබෙන බවද අමාත්‍යවරයා අවසාන වශයෙන් කියා සිටියා.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය අම්රික් සොහාල් මහතා ,සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා ) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ) වෛද්‍ය සමින්ධි සමරකෝන්, යන මහත්ම මහත්මීන් ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරුන්, රෝහල් හා සෞඛ්‍ය ආයතන නියෝජන් වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් සහභාගි වුණා.
The post 2023 ජාතික සෞඛ්ය පර්යේෂණ සම්මන්ත්රණය සාර්ථකව නිමා වෙයි appeared first on ITN News.