අයහපත් කාලගුණයෙන් 7000කට පීඩා
ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පවුල් දෙදහස් දෙසිය පනස්හයකට අයත් පුද්ගලයින් හත්දහස් එක්සිය අසූ එක්දෙනෙකු අවතැන්ව සිටිනවා.
ගංගා කිහිපයක් සදහා ගංවතුර අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇති අතර ජලාශ රැසක වාන් දොරටු විවෘතව පවතිනවා.
අධික වැසි සහිත කාලගුණය දිස්ත්‍රික් අටකට බලපා තිබෙනවා. ගංගා කිහිපයක ජල මට්ටම් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ගංවතුර අවදානම් පිළිබද විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
නිල්වලා ගඟ ප්‍රදේශ රැසකින් පිටාර ගලා ඇති අතර මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයක ජන ජීවිතයට බලපෑම් එල්ලවී තිබෙනවා. කලු ගඟ සහ වලවේ ගගේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයට තද වර්ෂාවක් ලැබීමත් සමග තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල සුලු ගංවතුර මට්ටමට ආසන්න වී තිබෙනවා. ඒ අනුව වෙන්ගලවෙඩ්ඩිකුලම්, මඩු, මුසාලේ, නැනඩ්ඩාන් යන ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙන්නේ.
ඔකේවෙල පල්ලෙකන්ද ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබූ පස් කන්දක් නායයාමට ලක්වුණා. ප්‍රදේශයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් නිවාස කිහිපයක ජනතාව වෙනත් ස්ථානවලට ගොස් සිටිනවා.
මඩාටුගම ගල්කිරියාගම ප්‍රධාන මාර්ගයේ කිරිලව පාලම ගිලා බැසීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් පාලම මතින් ගමන් කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙන්නේ.
බෝවතැන්න ජලාශයේ ද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බැවින් අවට පදිංචිකරුවන් අවදානයෙන් සිටින ලෙසයි දැනුවත් කෙරෙන්නේ. ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර අධික වර්ෂාවත් සමග නිකුත් කෙරෙන ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබද අවදානයෙන් සිටින ලෙස ජලාශය භාර ඉංජිනේරුවරුන් දැනුම් දෙනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කර තිබෙනවා. තත්පරයකට ඝන අඩි 15,500ක් මුදාහැරෙන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර ඇති බැවින් පහත් බිම්වල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස දැනුවත් කෙරෙනවා.
ලුණුගම්වෙහෙර ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කර තිබෙනවා. තත්පරයකට ඝන අඩි 6,150ක ජල ධාරිතාවක් මේ වනවිට කිරිදි ඔයට මුදාහරින බවයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් සදහන් කළේ.
මහ කනදරාව වැවේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බැවින් පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධීක වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලීමෙන් කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. පාලකට්ටු, පඹුරාන, පල්ලියගොඩැල්ල ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස කුඹුරු යටව පවතින අතර මේ වනවිටත් එම වගාබිම් විනාශයට පත්ව ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ.
නොර්ටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.
කාසල්රී ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකෙරෙනවා.
The post අයහපත් කාලගුණයෙන් 7000කට පීඩා appeared first on ITN News.