කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 14 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ ඊයේ (24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් පහකට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
නාවික හමුදාව වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයට පාවී ආ සැකකටයුතු උරයක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම උරය තුළ පාර්සල් දහසයක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 35 ග්‍රෑම් 100 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
නාවික හමුදාව විසින් සිදුකරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 14 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, මෙම කේරළ ගංජා තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.
The post කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට appeared first on ITN News.