රන් බිස්කට් 66ක් කටුනායකදී රේගු දැලේ
කැරට් 24 රන් බිස්කට් 66ක් ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයෙන් සූක්ෂ්ම ලෙස පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් දාහත්කෝටි හත්ලක්ෂයකට ආසන්න වටිනාකමක් ඇති ටෙන්ටොලාස් (10 TOLAS)වර්ගයේ රන් බිස්කට් 66ක් ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයෙන් සූක්ෂ්ම ලෙස පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද (30) ප.ව 04:00ට පමණ ගුවන්තොටුපළ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා වයස අවුරුදු 35ක් වන කිරිබත්ගොඩ ප්‍රදේශයෙහි පදිංචි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු දැනට වසර 15ක පමණ සිට ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙහි සේවය කළ අයෙකු ද වනවා.
මෙම පුද්ගලයා විසින් රන් බිස්කට් පවර්බෑන්ක් එකක ප්‍රමාණයට ඇසුරුම් කර ඇති අතර, එවැනි ඇසුරුම් දෙකක්, කොන්දේ අපහසුතා මගහරවාගැනීම සදහා භාවිතයට ගනු ලබන පළදනාවක් තුළ, සූක්ෂ්ම ලෙස සගවා තම ඉනෙහි පැළද, එය සිය යට ඇදුමෙන් ද ආවරණය වන පරිදි සකසාගෙන තිබෙනවා.
සැකකරු පවසන ආකාරයට ඔහු අතට මෙම රත්‍රං තොගය අද උදෑසන ලැබී තිබෙනවා.
ඔහු විසින් ඒවා ගුවන්තොටුපළ සිය සේවා ස්ථානයෙහි තම බඩුභාහිරාදිය තබන කබඩ් එක තුළ සගවා තබා, අවශ්‍ය ලෙස සූදානම් කර ගත් පසු, රාජකාරී නිමා වී යළි ගුවන්තොටුපළින් පිටත් වන අවස්ථාවේ දී, ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයෙන් රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
මේ පිළිබද ව ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන රේගු අංශය ලද තොරතුරකට අනුව සිදු කරන ලද පරීක්ෂාවේ දී, සැකකරු භාණ්ඩ සමග හසු වී තිබෙනවා.
ටෙන්ටොලාස් වර්ගයට අයත්, මෙම කැරට් 24 රත්‍රං බිස්කට් එකක බර ග්‍රෑම් 116.62ක් (116.62g) වනවා.
මෙසේ හසු වූ රත්‍රං බිස්කට් සියල්ලෙහි ම මුළු බර කිලෝ හතයි ග්‍රෑම් හතක් (7kg 07g) වනවා.
මෙම සැකකරු රේගු අංශය තුළ රදවා ගෙන අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරු ව අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කටයුතු කරන බව රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවා.
මෙම රත්‍රං තොගය පරීක්ෂා කිරීම සහ විමර්ශන කටයුතු සදහා ජ්‍යෙෂ්ඨ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් (බලාත්මක) පීටර් ගුණවර්ධන මහතා, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ) ඊ.ජී. ඇන්ටන් මහතා කටුනායක ගුවන්තොටුපළ රේගු අංශය වෙත පැමිණියා.
මෙහි දී, අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පීටර් ගුණවර්ධන මහතා මාධ්‍යට අදාළ සිදුවීම පිළිබද ව ප්‍රකාශයක් ලබා දුන්නා.
The post රන් බිස්කට් 66ක් කටුනායකදී රේගු දැලේ appeared first on ITN News.