සත්ව ආහාරවල ප්රෝටීන අවශ්යතාවය සැපිරීමට කළු සොල්දාදුවාගේ සහයෝගය
මෙරට සත්ව ආහාර සැකසීමේ දී සතුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සැපිරීම සඳහා අපේ රටේම වාසය කරන අහිංසක මැස්සන් විශේෂයක් වන Black Soldier Fly නැමැති මැස්සාගේ කීටයින් වගා කිරීම පිලිබඳව සිදු කරන පර්යේෂණ මේ වනවිට සාර්ථක වී තිබෙනවා.
විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණ අනුව විශේෂයෙන් කිරිගව පාලනයේ දී සත්ව ආහාර සඳහා ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීමේ දී සිදුවන අඩුපාඩු මෙම BSF හෙවත් කළු සොල්දාදුවා නැමැති මැසි විශේෂයේ කීට අවස්ථාව යොදා ගැනීම මගින් ඉහළ ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගත හැකි බවට අනාවරණය වී තිබෙනවා.
සත්ව ආහාර නිෂ්පාදනයේ දී වැඩිම පිරිවැයක් දැරීමට සිදුවන්නේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපිරීම සඳහායි.
එම නිසා මේ සඳහා ඉතාමත් සුදුසුම ක්‍රියාමාර්ගයක් ලෙස Black Soldier Fly නැමැති මැස්සන් විශේෂය වගාවක් වශයෙන් සිදු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම හා වැවිලී කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට දැනට මෙම ව්‍යාපෘතිය සම්බන්ධව පර්යේෂණ සිදු කරන විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කිහිප දෙනෙක් සහභාගි වුණා.
මෙම මැස්සන් විශේෂය වගා කිරීම සඳහා බැහැර කෙරෙන ආහාර මෙන්ම වෙළෙදපළවලින් බැහැර කෙරෙන එළවළු හා පලතුරු ද මාධ්‍යයක් වශයෙන් යොදා සකස් කර ගන්නා පල්ප විශේෂයක් යොදා ගැනීම මගින් කැළිකසල ප්‍රශ්නයට විසඳුමක් ද ලබා දීමට හැකි බව එම පර්යේෂකයෝ පැවසුවා.
මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියලු සහයෝගය කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් ලබා දීමට සූදානම්බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යාමේ වගකීම පශු සම්පත් අංශයට පවරනු ලැබුවා.
The post සත්ව ආහාරවල ප්රෝටීන අවශ්යතාවය සැපිරීමට කළු සොල්දාදුවාගේ සහයෝගය appeared first on ITN News.