එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව කොළඹ දී
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව පෙබරවාරි මස 19 සිට 22 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙහි සම්පූර්ණ සංවිධාන කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් මෙහෙයවනු ලබයි.
ආසියා හා පැසිපික් කලාපයේ රටවල් 42ක නියෝජිතයෝ 200කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යවරුන් 40 දෙනෙක් සහභාගි වීමට නියමිතයි.
ඉන් 20 දෙනෙක්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මේ වනවිට තහවුරු කර තිබෙනවා.
මේ හැර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් QuDongyuමහතා ඇතුළු ඉහළ නිලධාරින් පිරිසක් ද සහභාගි වීමට නියමිතයි.
37 වන ආසියා පැසිපික් කළාපීය සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (30) පෙරවරුවේ ආසියා පැසිපික් කළාපීය ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් පිරිසක් දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිපික් කලාපීය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජොන්ග් ජින් කිම් මහතා, උපදේශක සිම්සන් රොබර්ට් මහතා හා මාධ්‍ය උපදේශක ඇලන් මහතා මෙන්ම එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වී සිටියා.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කලාපීය සමුළුව පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව සඳහන් කළා.
විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ඉන්පසුව ඇතිවු ආර්ථික අර්බුදයෙන් පසුව වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන ජාත්‍යන්තර සමුළුව මෙය වන අතර මෙම වසරේ දී වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගි වන එකම සමුළුව ද මෙය වන බව ද කියා සිටියා.
මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගි වන බවත්, පසුගිය සදුදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් තම සහභාගිත්වය තහවුරු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජොන්ග් ජින් කිම් මහතා මෙම සමුළුව ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වන ජාත්‍යන්තර සමුළුවක් බවට පත්වෙනු ඇතැයි සඳහන් කළා.
විශේෂයෙන් මෙරට කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම, මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ද මෙම සමුළුව විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ද සඳහන් කළා.
එමනිසා මෙම සමුළුව තුළින් ලබා ගත හැකි සියලු වාසිදායක තත්ත්වයන් උදාකරගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළා.
The post එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 ආසියා පැසිපික් කළාපිය සමුළුව කොළඹ දී appeared first on ITN News.