ශ්රී ලංකාව තුළ වෙළෙඳපොළ පදනම් කර ගත් සුහුරු කිරි නිෂ්පාදන ව්යාපෘතිය දියත් කරයි
ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධනය සඳහා වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්‍යම පරිමාණ කිරි නිෂ්පාදකයින් බල ගැන්වීම සඳහා වන වෙළෙඳපොළ පදනම් කර ගත් සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය ඊයේ (29) දියත් කරනු ලැබුවා.
කොළඹ MoveNpick හෝටලයේ දී මෙම වැඩ සටහන පැවැත්වුණා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුණා.
මෙම වැඩ පිළිවෙල යටතේ අප රටේ කුඩා හා මධ්‍යම මට්ටමේ කිරි නිෂ්පාදන කටයුතුවල නිරතවන කිරි ගොවීන් 15,000කට ව්‍යාපාරික කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතයි.
එමෙන්ම කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ කරුණු 27ක් යටතේ කිරි ගොවීන් 27 දෙනෙක් මුළික පුහුණු කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් මගින් අනෙකුත් කිරි ගොවීන් පුහුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් මහත්මිය මෙම දේශගුණ සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය එක්සත් ජනපද අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන නවතම ව්‍යාපෘතිය බවත්, ශ්‍රී ලංකාවේ කිරි ගොවින් සඳහා තරගකාරිත්වය හා හොඳ නිෂ්පාදන පුරුදු යටතේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වෙළෙඳපොළ මුලික කර ගත් කිරි නිෂ්පාදන කර්මාන්ත වැඩ පිළිවෙළ විශාල සහයෝගයක් වනු ඇතැයි ද ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපද රජයට ස්තුතිය පළ කරන බව ද ප්‍රකාශ කළා.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අර්බුදය මෙන්ම රසායනික පොහොර අර්බුදය නිසා පහත වැටුන බවත්, වර්තමානයේ නැවතත් කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා රජය විසින් සාධනීය ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම සුහුරු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මියට රජය වෙනුවෙන් මෙන්ම මෙරට කිරි ගොවීන් වෙනුවෙන් තම කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
The post ශ්රී ලංකාව තුළ වෙළෙඳපොළ පදනම් කර ගත් සුහුරු කිරි නිෂ්පාදන ව්යාපෘතිය දියත් කරයි appeared first on ITN News.