ජයගමු ශ්රී ලංකා නුවර එළියට
නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්රී ලංකා’ මෙවර ජංගම වැඩසටහන මැයි 17-18 දෙදින නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගනයේදී පැවැත්
වෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් හැටියට ක්රියාත්මක දීප ව්යාප්ත ජංගම වැඩසටහනේ මැයි 17 වැනිදා ආරම්භ කෙරෙන 14 වැනි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සහ දිස්ත්රික් ලේකම්වරයා සමග රාජ්ය නිලධාරීන් සහභාගී වීමට නියමිතයි.
විදේශගත ශ්රමිකයන් සඳහා ප්රතිලාභ සහ ගරුත්වය තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් පැවැත්වෙන විගමනික ශ්රමික හරසර පිදෙන ‘ගරුසරු’, අවිධිමත් ශ්රමිකත්වයට වෘත්තීයභාවයක් ලබා දෙන ‘ස්මාට් වැඩ්ඩෝ’, තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා ලබා දෙන ‘ස්මාට් යූත් ක්ලබ්’, ශ්රම වාසනා අරමුදලේ ප්රතිපාදන කෙරෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට පාසල් උපකරණ ලබාදීම වැනි වැඩසටහන් ගණනාවක් මෙහිදී පැවැත්වීමට නියමිතයි.
පාසල් දරු දැරියන්ට පාසල් උපකරණ සමග බෑග්, තෝරා ගත් පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබා දීම, විදේශගත ශ්රමිකයින්ගේ දරුවන්ට ශිෂ්යත්ව ලබාදීම, එම පවුල්වලට විවිධ ප්රතිලාභ ලබා දීම, සතොස වවුචර්, ඇස් කණ්නාඩි, ලියාපදිංචි වී විදේශගත වූ ශ්රමික පවුල් සඳහා රුපියල් ලක්ෂයක ප්රතිපාදන කෙරෙන් රුපියල් 50,000ක පළමු වාරික මුදල් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා.
රැකියා වෙළඳපොළ උපදෙස් ලබා දීම සහ ව්යවසායකයන් දිරිමත් කෙරෙන මග පෙන්වීම් මෙන්ම කම්කරු නීතිය, මිනිස් වෙළඳාම යනාදී කරුණු සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ඔස්සේ ජනතාව දැනුවත් කිරීමද මෙම වැඩසටහනේදී සිදු කෙරෙනවා.
“සංචාරක වීසාවලින් රැකියාවක් සඳහා විදේශගත වෙන්න එපා කියලා තමයි අපි ජනතාවට කියන්නේ. නමුත්, යම් යම් රැකියා සඳහා කාර්යාංශයේ දැඩි නියාමනය යටතේ විදේශගත වෙන්නට අපි අවස්ථාව ලබා දී තිබෙනවා. එහිදී රැකියාව තිබෙනවාද, ගියාට පසුව එය ලැබෙන්නේ කොහොමද යන්න දැඩිව අධීක්ෂණය කරලා තමයි සංචාරක වීසා යටතේ ලියාපදිංචි වීම් කරන්නේ.
‘ජයගමු ශ්රී ලංකා’ වැනි වැඩසටහනකට පැමිණ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔස්සේ ලියාපදිංචි වීමේ කිසිම අවාසියක් නැහැ. වාසි විතරයි තියෙන්නේ. විදේශගත කිරීමේදී කාර්යාංශය රැකියා අවස්ථාව පිළිබඳව සොයා බලනවා. රැකියා ස්ථානයෙන් වැටුප ගෙවන එක නිසි ලෙසද කරන්නේ යන්න සොයා බැලීමෙන් පසුව තමයි ලියාපදිංචි කිරීමට අවසරය ලබා දෙන්නේ. අනෙක් අතට ශ්රමිකයන්ගේ පවුල්වල දූ දරුවන්ට ශිෂ්යත්ව ලබා දීම, පාසල් උපකරණ ලබා දීම, ලංකාවට ආවට පස්සේ තමන් ස්වයං රැකියාවක් කිරීමට අදහස් කරනවා නම් උදව් ලබා දීම කරනවා. ඒ සඳහා මූල්ය පහසුකම් ලබා දෙනවා. විදේශගත වන අයට මුදල් අපහසුතා ඇත්නම් ණය ගන්න උදව් කරනවා. නිවාස ණය ලබා දීමට කටයුතු කරනවා. මෑත කාලයේ හඳුන්වා දීපු දේවල් තමයි විදේශගත වී පැමිණීමේදී ලංකාවට මුදල් එවා තිබුණොත් ඔවුන්ට විදුලි මෝටර් රථයක් සඳහා බලපත්ර ලබා දීම, වැඩිපුර මුදල් එවා තිබුණොත් තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම වැනි ප්රතිලාභ ලියාපදිංචි වූ අයට ලැබෙනවා. විදේශයක සිටින විට කිසියම් ප්රශ්නයක් වුවහොත් ශ්රී ලංකා තානාපති කාර්යාල මගින් ඔවුන්ට සහාය ලබා දීමට අපි කටයුතු කරනවා.” යැයි මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ රැකියා අනුමැති හා ප්රචාරක අතිරේක සාමාන්යාධිකාරී ප්රියන්ත වීරසේකර මහතා පවසනවා.
The post ජයගමු ශ්රී ලංකා නුවර එළියට appeared first on ITN News.