වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම යුරෝපා සංගමය ඇගයීමට ලක් කරයි
වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබෙනවා.
මේ සඳහා ශ්රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් එම පනතේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ අනුව වනාන්තර විනාශ නොකර මෙරට රබර් වගාව ව්යාප්ත කිරීම සඳහා ශ්රී ලංකා රජය විසින් පසුගිය කාලය තුළ ගනු ලැබූ පියවර යුරෝපා සංගමය විසින් ඇගයීමට ලක් කර ඇති බව පසුගියදා මෙරට සංචාරයේ නිරත වූ සුප්රකට මිචලින් කර්මාන්ත සමුහයේ නියෝජිතයන් පෙන්වා දුන්නා.
එම නියෝජිත පිරිස පසුගිය සිකුරාදා (17) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා හමුවී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
මෙම සාකච්ඡාව සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ දී පැවැත්වුණා.
ශ්රී ලංකාව වනාන්තර විනාශ නොකර රබර් වගාව ව්යාප්ත කරන රටක් වශයෙන් ඇගයීමට ලක් කරන බව එම නියෝජිතයෝ ප්රකාශ කළා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය මෙම වසර තුළ හෙක්ටයාර් 1173 රබර් වගාව ව්යාප්ත කිරීමට නියමිතය. එමෙන්ම ඉදිරි කාලය තුළ පහත රට තෙත් කළාපයේ ඉඩම්වල නැවත රබර් වගාව ව්යාප්ත කිරීමට කටයුතු නොකරන අතර ශ්රී ලංකාවේ වියලි කලාපය තුළ තැනිතලාවල පිහිටි ඉඩම් රබර් වගාව සඳහා යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
දැනටමත් මොණරාගල, අනුරාධපුර, අම්පාර වැනි ප්රදේශවල රබර් වගාවන් ඉතාමත් සාර්ථක වී ඇති අතර රබර් වගාව නිසා පාරිසරික වශයෙන් ධනාත්මක වෙනස්කම් රැසකට භාජනය වී තිබෙනවා.
නිදසුන් ලෙස මොණරාගල බඩල්කුඹුර ප්රදේශයේ රබර් වගාව හේතුවෙන් සෙල්සියස් අංශක දෙකකින් උෂ්ණත්වය පවා අවම වී ඇතිබව හෙළිදරව් වී තිබෙනවා.
මේ නිසා ඉදිරි කාලය තුළ පහතරට තෙත් කළාපයේ ඉඩම්වල වෙනත් අපනයන කෘෂිකාර්මික භෝග වන ගම්මිරිස් වැනි කුළුබඩු වගාවට ප්රමුඛත්වය ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
කෙසේ වුවද යුරෝපා සංගමය දී ඇති නිර්දේශ ක්රියාත්මක කරමින් උසස් තත්ත්වයේ රබර් ලෝක වෙළෙඳපළට ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්යවරයා සඳහන් කළා.
දැනට ශ්රී ලංකාව විසින් අපනයනය කරනු ලබන රබර්වලින් සියයට 30ක් යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මිල දී ගනු ලබයි.
මේ වනවිට හෙක්ටයාර් 65,000ක රබර් වගාකර ඇති අතර මෙට්රික් ටොන් 98,500ක් වාර්ෂිකව අපනයනය කරනු ලබයි.
රබර් අපනයනයෙන් ශ්රි ලංකාවට ඩොලර් මිලියන 40ක ආදායමක් වාර්ෂිකව ජාතික ආදායමට ලැබෙනවා.
කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුලු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම යුරෝපා සංගමය ඇගයීමට ලක් කරයි appeared first on ITN News.