ඇමති කෙහෙළිය බන්ධනාගාර රෝහලට
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ආන්දෝලනයට තුඩුදුන් ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට අදාළ ලේඛණ විනාශ කිරීම හෝ අතුරුදන් වීම සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය පරිපාලකයින් පිළිබදව විමර්ශනයක් කරන ලෙස ද අධිකරණය දැනුම් දුන්නා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා.
එහිදී අමාත්‍යවරයා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළේ.
මහත් ආන්දෝලයනයක් ඇතිකරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා. ඉන් අනතුරුවයි අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනුනේ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා යළි කැඳවනු ලැබුවා.
එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබියදී ඒ සදහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ.
එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කළා.
ඒ අනුව අදාළ නියෝග ඇතුළු ලිපිය විමර්ශන නිලධාරීන් පෙරේදා පස්වරුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විජේරාම පිහිටි නිල නිවස වෙත ගොස් එය භාරදුන් අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඊයේ පෙරවරු 09ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඔහුගෙන් පැය 10කට අධික කාලයක් එම දෙපාර්තමේන්තු නිලධාරින් ප්‍රකාශ ලබා ගැනීම සිදුකළ අතර එම අවස්ථාවේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක ද නිරත වුණා.
කෙසේ වුවද එම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ.
මෙසේ අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
මෙම ගැටලු සහගත එන්නත් ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා 5 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කරුණු දැක්වුවා.
එම කැබිනට් පත්‍රිකාවට අදාලව අමාත්‍යාංශය කටයුතු කර නැති බව ඇය අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම ප්‍රශ්නගත එන්නත් සිද්ධියට අදාළව අමාත්‍යාංශයේ තිබූ ලිපි ලේඛණ ගණනාවක් අස්ථානගත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.
එම සිද්ධිය සම්බන්ධයෙන් වර්ථමනා සෞඛ්‍ය පරිපාලකයන් පිළිබද විමර්ශන පවත්වන ලෙසත් පොදු දේපලට අමතරව සාහසිත මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යටතේ ද විමර්ශන දීර්ඝ කරන ලෙසත් අධිකරණය නියෝග කළා.
සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහසේත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සැකකාර අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
The post ඇමති කෙහෙළිය බන්ධනාගාර රෝහලට appeared first on ITN News.