ගෝඨාභයට ශ්රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම වී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කළා.
විකල්ප ප්රතිපත්ති කේන්ද්ර යේ විධායක අධ්යක්ෂ පාක්යසෝති සරවණමුත්තු මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කළේ.
පෙත්සම අද කැදවූ අවස්ථාවේ පෙත්සම් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා ප්රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරිමට අවසර දෙන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට ජනාධිපති සමාව ප්රදානය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත්කරන ලෙස නියෝග කෙරුණා.
යාපනය මිරුසුවිල් ප්රදේශයේ දී අවුරුදු 5ක කුඩා දරුවෙකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අට දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන් සුනිල් රත්නායක මහතාට මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබුණා.
අනතුරුව මරණ දඩුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක මහතා ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.
එම පෙත්සම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ද මහාධිකරණ තීන්දුව තහවුරු කළා.
The post ගෝඨාභයට ශ්රේෂ්ඨාධිකරණයෙන් නොතීසි appeared first on ITN News.