“වසත් සිරිය” තරග ඉසව් සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
වසත් සිරිය 2023 අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා.
ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්වයි එය සංවිධාන කරන්නේ.
වසත් සිරිය 2023 සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය කොළඹ ෂැන්ග්‍රීලා ග්‍රීන් පරිශ්‍රයේදී හෙට දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තරග කරුවන්ට ඒ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීම විශේෂත්වයක්.
රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් තුනක් යටතේ සංවිධාන කෙරෙන මෙම අවුරුදු උත්සවය දේශීය සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කෙරෙන විශේෂාංග රැසකින් සමන්විතයි.
වසත් සිරිය අවුරුදු කුමරිය ලෙස කිරුළු පළදින යෞවනියට රන් තිළිණයක් සමග රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සහ තවත් ත්‍යාග රැසක් පිරිනමන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
අවුරුදු කුමරාට ද රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සමග වටිනා ත්‍යාග රැසක් පිරිනැමෙනවා.
මැරතන් තරගයේ පළමු ස්ථානයට රුපියල් හැත්තෑ පන් දහසක් ද, කාන්තා පළමු ස්ථානයට රුපියල් පනස් දහසක් ද පිරිනැමීමට නියමිතයි.
ස්ටෑන්ඩඩ් පාපැදි තරගයේ පිරිමි පළමු ස්ථානය සඳහා රුපියල් ලක්ෂයක් ද ,කාන්තා පළමු ස්ථානය සදහා රුපියල් පනස් දහසක් ද පිරිනැමෙනවා.
කඹ ඇදීම ඇතුළු පැවැත්වෙන සියලු තරග සදහා ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග පිරිනැමීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
ළමයින් සඳහා ද තරග රැසක් සංවිධාන කර තිබෙනවා.
තරග සඳහා වන අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ සියලු තරග සඳහා අයදුම්පත් බාගත කිරීම මෙන්ම එය සම්පූර්ණ කර යැවිය යුතු විද්‍යුත් ලිපියන් සහ දුරකතන අංක ආදී සියලු තොරතුරු ලබාගත හැකි වනවා.
අලුත් අවුරුදු උත්සවය අවසානයේ පැවැත්වෙන මියැසි ප්‍රසංගය රාත්‍රි 7ට එම ස්ථානයේදීම ආරම්භ වීමට නියමිතයි.
The post “වසත් සිරිය” තරග ඉසව් සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් appeared first on ITN News.